මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන්වල ප්‍රමිතිය ගැන ගැටලුකාරී තත්වයක් පවතින බව වෛද්‍ය තුෂාර වික්‍රමනායක පවසයි.

සමාජ මධ්‍යයේ වෛරල් ගිය වීඩියෝවක් ගැන අදහස් දක්වමින් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහන මෙන්න,

"Harini Amarasuriya - අධ්‍යාපන ඇමතිගෙ අවදානයට

සමාජ කැළඹීමක් කල මේ විඩියෝවෙ ඉන්නෙ ඉස්කෝලෙ මනෝ උපදේශක සහ රංගන ශිල්පි සිසුන්...ලු...මෙහෙම බොරුවට ළමයි අඬවලා සහකම්පනය මෙනෙහි කිරීම නම් මම දන්න මනෝ උපදේශනයෙ නෑ. ඒකෙන්ම මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන් වල ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.

මේ සත්‍ය කතාව මම මීට කලින් ලියලා තියනව.

කෝවිඩ් සමයෙ මුලු ලෝකයේම දරුවො ගෙදරට කොටු වෙලා ඉන්දැද්දි පුදුම ආතතියකින් හිටියෙ. යාලුවො, නෑදෑයො නොබලා මාස ගණන් ඉන්න වුණා. එංගලන්තයේ ඉස්කෝලෙ මගෙ දුව හිටයෙ 8/9 වසරෙ. හදිසියේම එක යාලුවෙක් on-line class ආවෙ නෑ. හොයලා බලනකොට ඒ දුවගෙ ආච්චි අම්මා නැතිවෙලා. මුස්ලිම් ජාතිකයින් වුණු ඒගොල්ලන්ට විශේෂ පාස් එකෙන් මිණිය බලන්න වත් ලැබිලා නෑ. ඒ දරුවා හිතේ අමාරුවට පංති ආවෙ නෑ. ඒක දැන ගත්තු අනෙක් ළමයි යෝජනාවක් කලා. එයාගෙ ආච්චි වෙනුවෙන් on-line ගුණ සැමරුමක් කරමු කියලා. 
ඒක හරිම ලස්සණ ගුණ සැමරුමක් වුණා. මුලින්ම ඒ දරුවගෙ ආගමට අනුව යාතිකාවකින් පටන්ගෙන එයාට මතක විදිහට ආච්චි ගැන කතා කලා. සතුටු මතක ගැන, දැනෙන දුක ගැන...හැබැයි අපූරුම දේ තමයි හැම දරුවෙකුටම අවස්ථාව ලැබුනා ඒගොල්ලන්ට අහිමි වෙච්ච කෙනෙක් ගැන කතා කරන්න. සමහරුන්ගෙ දෙමව්පියන් හදිසි අනතුරු වලින් නැති වෙලා. අක්කලා, මල්ලිලා පිලිකාවට නැති වෙලා. වැඩිමල් ආච්චිල සීයලා වයසට නැති වෙලා. සුරතල් සත්තු නැති වෙලා.

තමන් ආදරෙ කරපු කෙනා ගැන පිංතූරයක් හෝ යම් මතකයක් on-line තිරයෙ පෙන්නුවා. සමහරු ඇත්ත ෆොටො දැම්මා. සමහරු ගමක් (නිවාඩුවක් ගැන), ගඟක්(ආසම ස්ථානයක් ගැන), පොතක් (කැමතිම කතාවක් ගැන)වගෙ මතකයට එන සංඛේතයක් පෙන්නුවා. සමහර කතා දුක් බරයි, සමහර කතා විකටයි, සමහර කතා තරහයි...ඒ ඔක්කොම දරුවන්ට දැනුනු හැටි. හැමෝම හැඟීම් දැනීම් බෙදා ගත්තා විතරක් නෙවේ තමන්ගෙ පංතියෙ හිටියට යාලුවන් කවුද කියලා හඳුනාගත්තෙ එදා. ඒ ගුණ සැමරුම දරුවන්ට පුදුමාකාර release/සහනයක් වුණා.

සමහරු අවුරුදු ගාණක් තද කරං හිටපු ආවේග පිට කලා. සමහරු ප්‍රශ්න කලා. සමහරු හිත් සන්සුන් කර ගත්තා. ඒගොල්ලො හැමෝටම එක වගෙ සමාන අත්දැකීම් තියන බව වටහා ගත්තා. ඒ අවබෝධයත් එක්ක ඒගොල්ලන්ගෙ බැඳීම් තර වුනා.

එදයින් පස්සෙ අවුරුදු 2ක් පුරාවට කිසිම කෙනෙක් තනි වුනේ නෑ. කිසිම කෙනෙක්ට පාඩම් අතපසු කරගන්න ඉඩ දුන්නෙ නෑ. පංතිය මාර ෆිට් වුනා. ඒ ගැන මුලු ඉස්කෝලෙම ආදර්ශයට ගත්තා.

හැබැයි, කිසිම පෞද්ගලික රහසිගත කතාවක් පිටතට ගියෙ නෑ. කවුරුත් රෙකෝර්ඩ් කරලා සමාජ මාධ්‍යයෙ දැම්මෙ නෑ.

වැඩිහිටියන් හොට දැම්මෙ නෑ. ගුරුවරු ඇඟිලි ගැහුවෙ නෑ. ප්‍රමිතියක් සහිත පුහුණුවීම් ඇති මනෝ උපදේශන සේවාව නොලැබුනු දරුවෙක් හිටියෙ නෑ.

සහකම්පනය කියන්නෙ සැබෑ ජීවිතයෙ අත්‍යාවශ්‍ය මිනිස් ගුණාංගයක් මිස නාට්‍යයක් නෙවේ!"

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.